#දේශීය පුවත්

ගම්පහ හැම පාටම රනිල් දිනවන්න එක්වෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජයග්‍රහණය වෙනුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම ආසන ආවරණය වන පරිදි පක්ෂ රැසක සහභාගීත්වයෙන් ජනාධිපතිවරණ මෙහෙයුම් කමිටුවක් පත් කරඇත.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, මහජන එක්සත් පෙරමුණ ඇතුළු ජනාධිපතිවරයාට සහාය පළ කරන සියලුම පක්ෂ වල නියෝජිතයන් ඒ ඒ ආසන මට්ටමින් මෙම ඒකාබද්ධ කමිටුවට ඇතුළත් වන බව නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි.

ගෙන් ගෙට යාම, ඡන්ද පොළ නියෝජිතයන් පත් කිරීම, ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු සංවිධානය කිරීම සහ ආසන මට්ටමින් සංවිධාන කටයුතු කිරීම සහ මෙහෙයවීම මෙම ආසන ඒකාබද්ධ කමිටු වලට පැවරේ.

අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් නායක ලසන්ත අලගියවන්න, එක්සත් ජාතික පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් නායක සහ එජාප නියෝජ්‍ය නායක රුවන් විජවර්ධන, ජනාධිපති ජේෂ්ඨ උපදේශක ආශු මාරසිංහ ඇතුළු ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂ වල දිස්ත්‍රික් නායකයෝ සහභාගී විය.

මෙහිදී අදහස් දක්වමින් අමාත්‍ය ප්‍රසන්න රණතුංග පැවසූයේ කාලයක් නයි මුගටි දේශපාලනයේ නිරත වූ අය රනිල් වික්‍රමසිංහගේ ජයග්‍රහණය වෙනුවෙන් මෙලෙස එකතු වීම රටේ අනාගතය වෙනුවෙන් ගත් සුවිශේෂ පියවරක් බවයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *