#විදෙස් පුවත්

එංගලන්තයේ ප්‍රචණ්ඩත්වයට එරෙහිව ජනතාව වීදි බසී

සංක්‍රමණික මුස්ලිම් ජාතික තරුණයකු ලන්ඩන් නුවර සවුත්පෝර්ට් ප්‍රදේශයේ නර්තන ඇකඩමියක දැරියන් තිදෙනකුට පිහි ඇනුමක් සිදු කර ඝාතනය කිරීමේ සිදුවිම මුල් කරමින් බ්‍රිතාන්‍යයේ අන්ත දක්ෂිණාංශික කණ්ඩායම් රට පුරා ගෙන ගිය ජාතිවාදී කෝලාහල සහ සංක්‍රමණික මධ්‍යස්ථාන ඉලක්ක කරමින් ප්‍රහාර එල්ල කිරිමට කර තිබූ සැලසුම්වලට එරෙහිව විරෝධතාකරුවන් දහස් ගණනක් එරට විදි බැස ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පසුගිය දින කිහිපයක් පුරා ලන්ඩන් නුවර ඇතුළුව තවත් ප්‍රදේශ රැසක පැතිරී ගිය ජාතිවාදී කෝලාහල හේතුවෙන් දේපළ රැසක් විනාශ වූ බවත්, පොලිස් නිලධාරින්ට හා පොලිස් නිල රථවලට අන්ත දක්ෂිණාංශික විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාර එල්ල වූ බවත් වාර්තා වේ.

සංක්‍රමණිකයන්ට එරෙහිව පැතිරී ගිය ප්‍රචණ්ඩ ක්‍රියා අතරතුර විරෝධතාකරුවන් එරට විසා සැකසුම් මධ්‍යස්ථාන සහ ආගමන විගමන නිලධාරින්ගේ කාර්යාල ඉලක්ක කරමින් ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කර තිබූ බවත්, ඔවුන්ගේ ඉලක්ක වැළැක්වීමට දහස් සංඛ්‍යාත ප්‍රති විරෝධතාකරුවන් නගර රැසක පෙළ ගැසී සිටි බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.

මේ වන විට එරට පොලිසිය සියයකට අධික අන්ත දක්ෂිණාංශික විරෝධතාකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඉන් වැඩි පිරිසකට නඩු පවරා සිරදඬුවම් ලබාදී ඇතැයි ද වාර්තා වේ. කෙසේ වුවද අන්ත දක්ෂිණාංශික කණ්ඩායම් සහ ඊට එරෙහි විරෝධතාකරුවන් අතර සිදුවිය හැකි ගැටුම් වළක්වා ගැනීම සඳහා පොලිසියට අමතරව අතිරේක හමුදා කණ්ඩායම් ද රට පුරා යොදවා ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *