බංග්ලාදේශය නැවත නැගිටියි ඒක අනිවාර්යයි

“බංග්ලාදේශය නැවත යථා තත්ත්වයට පත්වෙනු ඇති බවට මට සැකයක් නැහැ. කෙටි කාලීනව යම් යම් ප්‍රශ්න ඇති වේවි, නමුත් මතක තබා ගන්න ශ්‍රී ලංකාවේ අපටත් ඒ දේම සිදු වුණා. බංග්ලාදේශයේ විශාලතම ආයෝජකයන්ගෙන් අප ද එක් රටක් වන නිසා අප ඒ රටේ රැකියා අවස්ථා ඇති කර තිබෙනවා.” යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී ඊයේ (06) ආරම්භ කෙරුණු 2024 පරිසර, සමාජයීය හා පාලනය (ESG) පිළිබඳ සමුළුව අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ බව පැවසුවේය. බංග්ලාදේශය සම්බන්ධයෙන් එහිදී ජනාධිපතිවරයා මෙසේ ද පැවසුවේය.
“අපගේ මිත්‍ර රටක් වන බංග්ලාදේශයේ දේශපාලනය පිළිබඳ කතා කිරීමට මා අදහස් නොකරන නමුත් ඒ පිළිබඳ යමක් සඳහන් කළ යුතුයි. ෂෙයික් හසීනා මහත්මිය අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත්ව ගියත් අප ඉතා අසීරු අවස්ථාවක සිටිදී ඇය අපේ රටට ඩොලර් මිලියන 200ක් ලබා දුන් බව මම සිහිපත් කළ යුතුයි. ඒ නිසා මේ මොහොතේ ඇත්තටම වැටී සිටින පුද්ගලයකු ගැන හොඳ වචනයක් ප්‍රකාශ කිරීම සාධාරණ යැයි මම සිතනවා. කලීඩා සියා මහත්මිය හිරෙන් නිදහස් කිරීම පිළිබඳ මම සතුටු වෙනවා. ෂෙයික් හසීනා මහත්මිය මෙය බොහෝ කලකට පෙර සිදු කළා නම්, ඇයට තවමත් බංග්ලාදේශයේ අග්‍රාමාත්‍යවරිය ලෙස කටයුතු කළ හැකිව තිබුණා.