#දේශීය පුවත්

කුස්සියේදී ලිපේ ගිනි ඇවිළෙනවාට වඩා හදවතේ ගිනි ඇවිළෙනවා

ගුරුවරුන් ලෙසත් මව්වරුන් ලෙසත් රටේ තිබෙන ප්‍රශ්නය ගුරුවරියන්ට වැඩිපුර දැනෙන බව ලංකා ගුරු සේවා සංගමයේ උප සභාපති විශාකා අබේරත්න අවධාරණය කරයි. ලංකා ගුරු සේවා සංගමයේ ජාතික සමුළුව අමතමින් ඇය මෙම අදහස් පල කළාය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ලංකා ගුරු සේවා සංගමයේ උප සභාපති විශාකා අබේරත්න,

“අද සමාජය පත්වී තිබෙන තත්වය පිළිබඳව පොදුවේ අප කාටත් අවබෝධයක් තිබෙනවා. ගුරු වෘත්තිය තුළ බහුතර පිරිසක් ඉන්නේ ආදරණීය ගුරු සහෝදරියෝ. ඔවුන් මේ රටේ ජීවත් වන මව්වරු. ගුරුවරුන් ලෙසත් මව්වරුන් ලෙසත් රටේ තිබෙන ප්‍රශ්නය අපට වැඩියෙන් දැනෙනවා. අපි ඒ ප්‍රශ්න ගැන වැඩිපුර සංවේදියි. කුස්සියේදී ලිපේ ගිනි ඇවිළෙනවාට වඩා හදවතේ ගිනි ඇවිළෙන බව අපි දන්නවා. ඇස් දෙකෙන් කඳුළු නොහෙළා පාසලට ගියාම දෙවන මවක් ලෙස ඉටුකළ යුතු තවත් භූමිකාවක් තිබෙනවා. පංති කාමරයේදී අපි දකින්නේ දුක කියා ගන්නවත් බැරිව සිටින දරුවන්. සමාජ මාධ්‍යවල පසුගිය කාලයේ මේ දරුවන්ගේ කෑම වේල් පිළිබඳව තොරතුරු හෙළිකර තිබුණා.

දරුවන් දෙතුන් දෙනෙක් ඉන්න පවුලක අධ්‍යාපනය ලබා දෙන්නේ කුමන දරුවාටද යන ප්‍රශ්නය මතුවී තිබෙනවා. පාසල් යා යුතු වයසේ දරුවන් 40%කට පාසල් යාමට නොහැකි වී තිබෙනවා. කෙනෙකුගෙන් ඉල්ලා ගෙන ඇඳුම් අඳින 20%ක් දෙනා සිටිනවා. කොළඹ පමණක් නොවෙයි, ඈත එපිට ප්‍රදේශවලදී පවා මේ පීඩා විඳින ගුරුවරියන් තමන්ගේ දරුවාට මවක් වෙනවාට වඩා පාසලේදී ඒ දරුවන්ට මවක් වෙනවා. රටේ දරුවන්ගේ අනාගතය ගොඩනැගිය යුතු බවට ඒකායන බලාපොරොත්තුවක් තිබෙනවා. ඒ බලාපොරොත්තුව පොදි බැඳගෙන මෙතනට පැමිණ නව පුනරුදයක් වෙනුවෙන් තවත් ධෛර්යයෙන් රොද බඳිමු කියා ඉල්ලා සිටිනවා.”

Leave a comment

Your email address will not be published. Required fields are marked *