#ක්‍රීඩා පුවත්

ලංකාවේ විරේන් හා ස්පාඤ්ඤයේ පැබ්ලෝ අද දහවල් සටනට

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඔලිම්පික් උළෙලේ බැඩ්මින්ටන් ඉසව්ව සඳහා සහභාගි වූ විරේන් නෙත්තසිංහ සහභාගි වන දෙවැනි තරගය අද(ශ්‍රී ලංකා වේලාවෙන් දහවල් 12ට) පැවැත්වීමට නියමිතය.

මෙම මූලික වටයේ තරගය “G” කාණ්ඩය යටතේ පැවැත්වෙනු ඇත.

එහිදී විරේන් ස්පාඤ්ඤයේ Abian Pablo සමගින් තරග වැදීමට නියමිතය. 39 හැවිරිදි පැබ්ලෝ අත්දැකීම් බහුල ක්‍රීඩකයෙකු වන අතර ඔහු ලෝක ශ්‍රේණිගත කිරීම් හී 62 වැනි ස්ථානයේ රැඳී සිටී. විරේන් එහි 70 වැනි ස්ථානයේ පසුවේ.

මෙය පැබ්ලෝ සහභාගි වන 5 වැනි ඔලිම්පික් උළෙල වේ. 2008 බීජිං ඔලිම්පික් උළෙලේ සිට නොකඩවා මේ දක්වා ඔලිම්පික් උළෙල 5ක් නියෝජනය කිරීම විශේෂත්වයකි. ලෝක ශූරතා 5කදී ස්පාඤ්ඤය නියෝජනය කර ඇති පැබ්ලෝ 2015 වසරේදී අසාර්බයිජාන් හී බකු නුවරදී පැවැති පළමු යුරෝපීය ක්‍රීඩා උළෙලේ බැඩ්මින්ටන් කේවළ පිරිමි ඉසව්වේ රන් පදක්කම දිනා ගන්නටද විරේන් ගේ ප්‍රතිවාදී පැබ්ලෝ සමත්ව සිටී.

2012 වසරේ ලන්ඩන් හි පැවැති ඔලිම්පික් උලෙලේ දී පැබ්ලෝ සිය පළමු තරගය ජය ගත් අතර එය ස්පාඤ්ඤ ක්‍රීඩකයෙකු විසින් ඔලිම්පික් ක්‍රීඩා උළෙලක බැඩ්මින්ටන් තරගයක් ජයගත් පළමු අවස්ථාව ලෙසින් ඉතිහාසයට එක්විය.

චතුර රණසිංහ
ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් සිට

Leave a comment

Your email address will not be published. Required fields are marked *